පියයුරු පිළිකාවක් කියලා දැනගත්තාම, ඒකෙන් සුවය ලබන්න කරන සටන ලොකු එකක්. ශල්‍යකර්මය කියන්නේ ඒ සටනේ තීරණාත්මක පියවරක්. ඒත් සමහර වෙලාවට මේ වගේ ශල්‍යකර්මයකින් පස්සේ ඒ පැත්තේ අත ඉදිමෙන්න පුළුවන් . මේ තත්ත්වය තමයි වෛද්‍ය විද්‍යාවේදී වසා ඉදිමීම හෙවත් Lymphedema කියලා හඳුන්වන්නේ. මේක බය වෙන්න ඕන දෙයක් නෙවෙයි, හැබැයි මේක ගැන හරියටම දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. මොකද, මේක ගැන දැනගෙන හිටියොත්, ඒක පාලනය කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්.අපි අද මේ ලිපියෙන් සරලව සහ විස්තරාත්මකව මේ තත්ත්වය ගැන කතා කරමු .
මොකක්ද මේ වසා පද්ධතිය සහ වසා ඉදිමීම ඇතිවෙන්නේ ඇයි?
අපේ ශරීරය ඇතුළේ ලේ ගෙනියන රුධිර නාල ජාලයක් තියෙනවා වගේම, තවත් නාල ජාලයක් තියෙනවා. මේකට අපි කියන්නේ වසා පද්ධතිය කියලා. මේක අපේ ශරීරයේ ආරක්ෂක පද්ධතියේ (Immune system) ඉතා වැදගත් කොටසක්. මේ පද්ධතියේ ප්‍රධානම කාර්යය තමයි ශරීරයේ පටක වලින් ඉවත් කළ යුතු අපද්‍රව්‍ය, බැක්ටීරියා සහ විෂබීජ වගේ දේවල් එකතු කරලා ඉවත් කරන එක. මේ දියරය වසා තරලය (Lymph fluid) කියලා හඳුන්වනවා.
මෙම වසා තරලය ගමන් කරන්නේ වසා නාල (Lymph vessels) හරහා. ඒ වගේම, මේ නාල දිගේ තියෙන පොඩි ඉදිමුණු ගැටිති වගේ ඒවාට තමයි වසා ගැටිති (Lymph nodes) කියන්නේ. කිහිල්ලේ, බෙල්ලේ, ඉකිලිවල වගේ තැන්වල මේ වසා ගැටිති පොකුරු වශයෙන් තියෙනවා. මේවා පෙරහන් වගේ ක්‍රියා කරනවා.

පියයුරු පිළිකා ශල්‍යකර්මයකදී, පිළිකා සෛල පැතිරී තිබෙනවාද කියලා බලන්න කිහිල්ලේ තියෙන වසා ගැටිති ඉවත් කරනවා. මේ වසා ගැටිති ඉවත් කළාම, වසා තරලය ගමන් කරන මාර්ගය අවහිර වෙන්න පුළුවන්. හරියට නළ ජල මාර්ගයක් අවහිර වුණාම වතුර එකතු වෙලා පිටාර ගලනවා වගේ. ඒ විදියට, වසා තරලය ගමන් කරන්න තැනක් නැති වුණාම, ඒක අතේ හෝ පපුවේ එකතු වෙලා ඉදිමීමක් ඇති කරනවා. මේ තත්ත්වය තමයි වසා ඉදිමීම (Lymphedema) කියලා හඳුන්වන්නේ.
මේ තත්ත්වය හැමෝටම ඇතිවෙන්නේ නැහැ. ඒත්, මේ අවදානම වැඩි වෙන්නේ:
- ශල්‍යකර්මයේදී කිහිල්ලේ වසා ගැටිති ඉවත් කළ අයට.
- ඒ ප්‍රදේශයට විකිරණ ප්‍රතිකාර (Radiation Therapy) ලබා ගත්ත අයට.
- සැත්කමෙන් පසුව ශරීරයට ආසාදන ඇති වූ අයට.
- තරබාරු අයට.
සමහර අයට මේ ඉදිමීම ශල්‍යකර්මයෙන් දින කිහිපයකට පස්සේම ඇතිවෙන්න පුළුවන්. තවත් සමහර අයට මාස ගණනාවකට හෝ අවුරුදු ගණනාවකට පස්සේ පවා ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා, ශල්‍යකර්මයෙන් පස්සේ කාලයක් ගියාට පස්සෙත් මේ ගැන අවධානයෙන් ඉන්න එක ගොඩක් වැදගත්.
වසා ඉදිමීම සිදුවන ඇති බව දැනගන්නේ කොහොමද?
මේක ඇතිවෙනකොටම ඔබට දැනෙන්න පුළුවන් මුලික රෝග ලක්ෂණ මෙහෙමයි:
- අතක් හෝ අතේ කොටසක් බරයි, තදයි වගේ දැනීම: මේක තමයි මුලින්ම දැනෙන්න පුළුවන් පොදුම රෝග ලක්ෂණය. සාමාන්‍ය අතට වඩා වෙනසක් දැනෙනවා.
- මුදු, අත් පළඳනා, ඔරලෝසු වගේ දේවල් තද වෙන්න පටන් ගැනීම: මේවා ඉස්සර තිබ්බට වඩා අපහසුවක් ඇති කරනවා.
- ඇඳුම් තද වීම: අත් පළඳනා, අත් පළඳනා වගේ ඇඳුම් තද වෙන්න පටන් ගන්නවා.
- සම ඉදිමිලා, සමහර වෙලාවට තද වෙලා වගේ පෙනීම: සම සිනිඳු නැතිව, ටිකක් ඉදිමුණු ගතියක් පෙන්වනවා. සමහර වෙලාවට සමේ රැළි, තද ස්වභාවය හෝ වෙනස්කම් ඇතිවීම.
- වේදනාව හෝ අපහසුතාව: සමහර වෙලාවට වේදනාවක් හෝ අපහසුතාවක් දැනෙන්න පුළුවන්.
මේ වගේ දෙයක් දැනුණොත්, බය නොවී වහාම ඔබේ වෛද්‍යවරයාට හෝ හෙදියට දැනුම් දෙන්න. මේක වෙනස්ම රෝගයක් නෙවෙයි, ශල්‍යකර්මයේ අතුරු ප්‍රතිඵලයක්. ඉක්මනින්ම ප්‍රතිකාර ගන්න එකෙන් තත්ත්වය නරක අතට හැරෙන්නේ නැතිව වළක්වා ගන්න පුළුවන්.
වසා ඉදිමීම පාලනය කරගන්නේ කොහොමද?
මේක සුව කරන්න බැරි වුණත්, ඒවා හොඳටම පාලනය කරගන්න පුළුවන්. නිසි ප්‍රතිකාර සහ සැලකිල්ලෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. මේ සඳහා ප්‍රධාන කොටස් කිහිපයක් තියෙනවා.
1. ඔබම කරන්න පුළුවන් දේවල්
මේක ගොඩක් වැදගත්. මේ උපදෙස් පිළිපදින එකෙන් තත්ත්වය තවත් වැඩිවීම වීම වළක්වා ගන්න පුළුවන්.
- සම ගැන සැලකිලිමත් වීම: අතේ සම හොඳින් පිරිසිදුව හා තෙතමනය සහිතව තබා ගන්න. මොයිස්චරයිසින් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. පොඩි තුවාලයක්, සීරීමක්, කැපුමක්, හෝ කෘමි දෂ්ටනයක් වුණත් ආසාදනය වෙලා තත්ත්වය නරක අතට හැරෙන්න පුළුවන්. ඒ නිසා සම ආරක්ෂා කරගන්න. වැඩ කරනකොට අත්වැසුම් පළඳින්න.
- බර ඉසිලීමෙන් වළකින්න: ශල්‍යකර්මය කළ පැත්තේ අතින් අධික බර ඉසිලීමෙන් වළකින්න. බර බෑග් හෝ බඩු උස්සන්න එපා.
- ප්‍රතිකාර කරන අතට එන්නත්/රුධිර පීඩනය මැනීමෙන් වළකින්න: ශල්‍යකර්මය කළ පැත්තේ අතට එන්නත් හෝ රුධිර පීඩනය මැනීමෙන් වළකින්න. මේකෙන් තුවාල වෙන්න හෝ පීඩනය ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා සෑම විටම අනෙක් අත භාවිතා කරන්න.
- ව්‍යායාම : වෛද්‍යවරයා හෝ භෞතචිකිත්සකවරයෙක් ඔබට උගන්වන සරල ව්‍යායාම කරන්න. මේ ව්‍යායාම වලින් වසා තරලය ගලා යාමට උදව් වෙනවා. උරහිස චලනය කරන එක, ඇඟිලි චලනය කරන එක වගේ දේවල් කරන්න පුළුවන්. අධික වෙහෙසක් ගන්න එපා, සෙමින් හා මෘදුව කරන්න.

- අත ඔසවා තැබීම: පුළුවන් හැම වෙලාවකම බලපෑමට ලක් වූ අත හදවතට වඩා උසින් තබා ගන්න. මේකෙන් තරලය නැවත ගලා යාමට උදව් වෙනවා. නිදාගන්නකොට කොට්ටයක් උඩ අත තබාගන්න පුළුවන්.
- කෑම බීම සහ බර: නිරෝගී ආහාර වේලක් ගන්න එක සහ ඔබේ බර පාලනය කරගන්න එක ගොඩක් වැදගත්. අධික බරත් මේ තත්ත්වය වැඩි කරන්න පුළුවන්.
2. වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර
ඔබට වසා ඉදිමීම ඇති බව දැනගත්තාම, වෛද්‍යවරයා මේ විශේෂ ප්‍රතිකාර සඳහා යොමු කරනු ලබනවා
- සම්පීඩන ආවරණ (Compression Garments): මෙය තමයි වසා ඉදිමීම පාලනය කරගන්න තියෙන ප්‍රධානම ක්‍රමය. ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව, ඔබට සුදුසු ප්‍රමාණයේ සහ වර්ගයේ සම්පීඩන ආවරණයක් (Compression sleeve) ලබාගන්න සිදුවෙනවා. මේවායින් අතට නියමිත පීඩනයක් ඇති කරලා, දියර එකතු වීම වළක්වනවා. මෙය දවස පුරාම පැළඳීම වැදගත්.
- විශේෂ සම්බාහන ක්‍රම (Manual Lymphatic Drainage – MLD): වසා පද්ධතියට විශේෂිත සම්බාහන ක්‍රම තියෙනවා. මේක පුහුණුව ලත් භෞතචිකිත්සකවරයෙක් විසින් සිදු කරන අතර, එයින් වසා තරලය ගමන් කිරීමට උදව් කරනවා. ඔබේ වෛද්‍යවරයාට මේ සඳහා යොමු කරන්න පුළුවන්. මේකෙන් පසු ඔබට තනියමම කරන්න පුළුවන් සරල සම්බාහන ක්‍රම කියලා දෙනවා.
- භෞතචිකිත්සාව (Physical Therapy): භෞතචිකිත්සකයෙක් ඔබට නිවැරදි ව්‍යායාම, සම්බාහන ක්‍රම සහ ඔබේ අත ගැන සැලකිලිමත් වන ආකාරය ගැන සම්පූර්ණ අවබෝධයක් ලබා දෙනවා.
වසා ඉදිමීම ඇතිවෙන්න කලින් වළක්වා ගන්නේ කොහොමද?
වසා ඉදිමීම සුව කිරීම අභියෝගාත්මක නිසා , ඒක ඇතිවෙන්න කලින් වළක්වා ගන්න එක තමයි හොඳම දේ. මේ දේවල් මතක තියාගන්න.
- ව්‍යායාම: ශල්‍යකර්මයෙන් පස්සේ වෛද්‍යවරයා කියන විදියටම අතේ සහ උරහිසේ ව්‍යායාම කරන්න. ඒකෙන් වසා තරලය නිදහසේ ගමන් කරන්න උදව් වෙනවා.

- බර සහ ආහාර: නිරෝගී බරක් පවත්වා ගන්න.
- ආසාදනවලින් වළකින්න: ශල්‍යකර්මය කළ පැත්තේ අතේ තුවාල, සීරීම්, හෝ කෘමි දෂ්ටන ඇතිවීමෙන් වළකින්න.
- තද ඇඳුම් සහ ආභරණ: අතට තද වෙන ඇඳුම් හෝ ආභරණ පළඳින්න එපා.
මේ ගමනේ තනිවෙලා නැහැ ….
වසා ඉදිමීම කියන්නේ අතේ හිරිවැටීමක් හෝ පුංචි ඉදිමීමක් විතරක් නෙවෙයි, එයින් මානසිකව සහ සමාජීයව ඔබව පීඩාවට පත් කරන්න පුළුවන්. සමහර වෙලාවට ඇඳුම් තෝරාගන්න අපහසු වීම, සමාජයට යන්න ලැජ්ජා හිතෙන එක වගේ දේවල් වෙන්න පුළුවන්. නමුත් නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම මගින් මෙය සැහෙන දුරට මගහරවා ගන්නට පුළුවන්
ඔබට උදව් කරන්න, ඔබව බලාගන්න වෛද්‍යවරුන්, හෙදියන් සහ භෞතචිකිත්සකයින් ඉන්නවා. ඒ වගේම, ලංකාවේ පිළිකා රෝගීන් සඳහා විශේෂයෙන්ම පිහිටුවා ඇති ආයතනත් තියෙනවා . ඔබට මේ තත්ත්වය ගැන කතා කරන්න හෝ මානසික සහයෝගයක් අවශ්‍ය නම්, ඔවුන්ට කතා කරන්න.
වසා ඉදිමීම ඇති වුණත්, ඔබට ඒක හොඳින් පාලනය කරගෙන සාමාන්‍ය, සතුටුදායක ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ දැනුම, සැලකිල්ල සහ ධනාත්මක ආකල්පයක් පමණයි. ඔබ මේ ගමනේදී තනිවෙලා නැහැ. අපි හැමෝම ඔබට ශක්තියක් වෙන්න සූදානම්.
Dr D H Buddhika Ubayawansa (MBBS,MD(surgery) MRCS ( Edin) ) Consultant Oncological Surgeon


