පියයුරු සැත්කමෙන් පසු සුවය ලබන ඔබ සඳහා උපදෙස්
පියයුරු සැත්කමකින් පසු සුවය ලැබීම යනු ඉවසීමෙන් සහ සැලකිල්ලෙන් කළ යුතු කාර්යයකි. සැත්කමට පසු මුල් සති කිහිපය තුළ ඔබ නිවසේදී කළ යුතු දේ සහ බලාපොරොත්තු විය යුතු දේ තේරුම් ගැනීමට මෙම උපදෙස් මාලව සකස් කර ඇත
1. තුවාලය සහ වෙළුම් පටි (Wound Care)
-
මුල් පැය 24: තුවාලය සහ වෙළුම් පටි සම්පූර්ණයෙන්ම වියළිව තබා ගන්න.
-
පැය 24 කට පසු:
-
ඔබට ඇත්තේ water proof ‘ (පැහැදිලි ප්ලාස්ටික් වැනි) වෙළුමක් නම්: ඔබට ස්නානය කිරීමට බාදාවක් නැත . නමුත් තුවාලය ඇතිල්ලීමෙන් වැළකී සිටීම වැදගත් . සබන් වතුර සෙමින් ගලා යාමට ඉඩ දී, ස්නානයෙන් පසු වහාම පිරිසිදු තුවායකින් තෙත මාත්තු කර වියළා ගන්න.
-
ඔබට ඇත්තේ සාමාන්‍ය ගෝස් වෙළුමක් නම්: නැවත වෛද්‍යවරයා හමුවන තෙක් එය තෙත් නොකර තබා ගන්න.
-
-
වෙළුම් පටි ඉවත් කිරීම: සාමාන්‍යයෙන් සැත්කමෙන් දින 4-5 කට පසු සායනයට පැමිණි විට අප විසින් වෙළුම් පටි ඉවත් කරනු ලැබේ. තුවාලය මත ඇති කුඩා පටි (Steri-Strips) ඒවා ඉබේම ගැලවී යන තෙක් ඉවත් කරන්න එපා.
2. වේදනාව පාලනය සහ ඖෂධ (Pain Management)
-
නිතිපතා බෙහෙත් ගන්න: වේදනාව ඉතා අඩු වුවද, මුල් දින 2-3 තුළ ඔබට ලබා දුන් වේදනා නාශක නියමිත පරිදි ගන්න. වේදනාව වැඩි වූ පසු පාලනය කිරීමට වඩා එය ඇතිවීම වැළැක්වීම පහසුය.
-
කැසීම සහ හිරිවැටීම: තුවාලය අවට කැසීමක් හෝ කිහිල්ල යට හිරිවැටීමක් දැනීම සාමාන්‍ය දෙයකි. මෙය ස්නායු සුව වන බවට ලකුණකි. තුවාලය කසන්න එපා.
-
විදුලියක් වැදීම වැනි වේදනාව: ස්නායු යථා තත්ත්වයට පත් වන විට ඉඳහිට තියුණු ‘විදුලියක් වදිනවා වැනි’ වේදනාවක් දැනීම සාමාන්‍ය දෙයකි.
3. එදිනෙදා වැඩ කටයුතු (Activity)
-
බර එසවීමෙන් වළකින්න: සැත්කමෙන් පසු සති 2 ක් යනතුරු කිලෝග්‍රෑම් 2 කට වඩා (උදාහරණයක් ලෙස වතුර පිරවූ කේතලයක් වැනි) බර කිසිවක් ඔසවන්න එපා.
-
ගෙදර දොරේ වැඩ: සති 2 ක් යනතුරු අතුගෑම, මොප් කිරීම හෝ අතින් රෙදි සේදීම වැනි වෙහෙසකර වැඩවලින් වළකින්න.
-
ඇවිදීම: රුධිර කැටිති ඇතිවීම වැළැක්වීම සඳහා සැත්කම කළ දවසේ සිටම නිවස තුළ සෙමින් ඇවිදීම ඉතා හොඳයි.
4. වහාම වෛද්‍යවරයා ඇමතිය යුතු අවස්ථා (Red Flags)
පහත සඳහන් ලක්ෂණ දුටුවහොත් වහාම අප අමතන්න හෝ රෝහලට පැමිණෙන්න:
-
සෙල්සියස් අංශක 38 ට (ෆැරන්හයිට් 100.4) වඩා වැඩි උණ සහ වෙව්ලීම.
-
තුවාලය අවට සම රතු වීම, රත් වීම හෝ සැරව/දියර ගැලීම.
-
පියයුරේ හෝ අතේ හදිසියේ ඇතිවන අධික ඉදිමීම.
-
වේදනා නාශක වලින් පාලනය කළ නොහැකි තදබල වේදනාව.
ඔබේ සැත්කමේ වර්ගය අනුව විශේෂ උපදෙස්:
පියයුරේ කොටසක් ඉවත් කළ (WLE) සහ සෙන්ටිනල් වසා ගැටිති පරීක්ෂාව (SNB) කළ අය සඳහා:
-
යට ඇඳුම්: මුල් සතිය තුළ දිවා රාත්‍රී දෙකේම කම්බි රහිත, ‘Sports Bra’ එකක් ඇදීම වැඩ සුදුසුයි . මෙය ඉදිමීම අඩු කර පියයුරේ හැඩය පවත්වා ගැනීමට උදව් වේ.
-
අතේ චලනයන්: ආහාර ගැනීම, හිස පීරීම වැනි වැඩ සඳහා අත සෙමින් භාවිතා කළ හැකියි.
-
ව්‍යායාම: සැත්කමට පසු දින සිට උරහිස සෙමින් කරකවන ව්‍යායාම කරන්න. සතියක් තුළ ඔබට අත සාමාන්‍ය පරිදි එසවිය හැකි විය යුතුයි.
පියයුරේ කොටසක් ඉවත් කළ (WLE) සහ කිහිල්ලේ වසා ගැටිති සම්පූර්ණයෙන්ම ඉවත් කළ (AC) අය සඳහා:
-
ඩ්රේන් (Drains): ඔබට දියර පිටවන නලයක් (Drain) දමා තිබේ නම්, එය දිනපතා හිස් කර එහි ප්‍රමාණය සටහන් කරගන්න. දියර ප්‍රමාණය මිලිලීටර් 30 ට වඩා අඩු වූ විට අප එය ඉවත් කරන්නෙමු.
-
අතේ ආරක්ෂාව: අත ඉදිමීම (Lymphedema) වැළැක්වීම සඳහා:
-
සැත්කම කළ පැත්තේ අතට තද මුදු හෝ ඔරලෝසු දමන්න එපා.
-
එම අතින් ලේ සාම්පල ගැනීම හෝ රුධිර පීඩනය (BP) මැනීම වළක්වන්න.
-
සම වියළීම වැළැක්වීමට දිනපතා ලෝෂන් වර්ගයක් ගල්වන්න.
-
පියයුර සම්පූර්ණයෙන්ම ඉවත් කළ (Mastectomy) සහ සෙන්ටිනල් වසා ගැටිති පරීක්ෂාව (SNB) කළ අය සඳහා:
-
තුවාලය: පපුව හරහා ඇති තුවාලය ටිකක් තද ගතියකින් දැනීම සාමාන්‍යයි. උරහිස් නමාගෙන නොසිට කෙලින් සිට ගැනීමට උත්සාහ කරන්න.
-
පියයුරු ආවරණ (Prosthesis): මුල් කාලයේදී බ්‍රෙසියරය තුළ තැබීමට සැහැල්ලු පුළුන් ආවරණයක් භාවිතා කල හැකියි . තුවාලය සම්පූර්ණයෙන්ම සුව වන තෙක් (සති 6 ක් පමණ) බරැති සිලිකොන් ආවරණ පාවිච්චි කරන්න එපා.
පියයුර සම්පූර්ණයෙන්ම ඉවත් කළ (Mastectomy) සහ කිහිල්ලේ වසා ගැටිති සම්පූර්ණයෙන්ම ඉවත් කළ අය සඳහා:
-
ඩ්රේන්: නළය ඇති ස්ථානය පිරිසිදුව තබා ගන්න. නළය අසලින් දියර කාන්දු වේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න
-
සෙරෝමා (Seroma): නළය ඉවත් කළ පසු කිහිල්ල යට වතුර බැලූනයක් වැනි ඉදිමීමක් ඇතිවිය හැක. මෙය වේදනා රහිත නම් බය වෙන්න එපා. එය තද වී වේදනා දෙන්නේ නම් සායනයට පැමිණෙන්න; අපට එය වේදනා රහිතව ඉඳිකටුවක් මගින් ඉවත් කළ හැකිය.
-
අතේ ආරක්ෂාව (ජීවිත කාලයටම):
-
මේ අතට කිසිම විටක එන්නත් විදීමට හෝ BP මැනීමට ඉඩ දෙන්න එපා.
-
වත්තේ වැඩ කරන විට හෝ රෙදි/භාජන සෝදන විට අත කැපීම වැළැක්වීමට අත්වැසුම් පළඳින්න.
-
කුඩා කැපීමක් වුවහොත් වහාම විෂබීජ නාශකයක් ගල්වන්න.
-
-
ව්‍යායාම: නළය ඉවත් කරන තෙක් අත උරහිසට වඩා ඉහළට ඔසවන්න එපා. නළය ඉවත් කළ පසු, උරහිස තද වීම (Frozen Shoulder) වැළැක්වීම සඳහා දිනපතා ව්‍යායාම කළ යුතුමයි.
Click here – පියයුරු සැත්කමෙන් පසු කලකල යුතු ව්‍යායාම
Dr D H Buddhika Ubayawansa (MBBS,MD(surgery) MRCS ( Edin) ) Consultant Oncological Surgeon


