googlec1e6ac418fe01dee.html

පියයුරු පිළිකා සැත්කමින් අතේ ඉදිමීම අඩු කරන සෙන්ටිනල් වසා ගැටිති පරීක්ෂාව

snb

පියයුරු පිළිකා ප්‍රතිකාර ගැන කතා කරනකොට නිරන්තරයෙන් අහන්න ලැබෙන දෙයක් තමයි ,”කිහිල්ලේ සැත්කම” නැත්තම් axillary surgery කියන එක . මේක ගැන ඇහෙන කොට අපේ හිතේ පොඩි චකිතයකුත් ඇතිවෙන්න පුළුවන් . මේකට ප්‍රධාන හේතුව තමයි කිහිල්ලේ   වසා ගැටිති ගොඩක් ඉවත් කළාම ඇතිවිය හැකි  අත ඉදිමීම (Lymphedema) වගේ සංකූලතා. මෙම තත්වය අඩුකරගන්න තියෙන  අලුත් ශල්‍ය ප්‍රතිකාර ක්‍රමය තමයි   සෙන්ටිනල් වසා ගැටිති පරීක්ෂාව (Sentinel Lymph Node Biopsy – SLNB) කියල කියන්නේ . මේ ක්‍රමය නිසා අද කිහිල්ලේ සැත්කම් කරන විදිය ගොඩක් වෙනස් වෙලා, රෝගීන්ට සුවය ලැබීමත් පහසු වෙලා තියෙනවා. මේ ලිපියෙන් අපි මේ ශල්‍යකර්මය  ගැන සරලව කතා කරමු. මේ වගේම ලංකාවේ මේ  සදහා තියෙන පහසුකම් මොනවද  කියලත් බලමු.

සෙන්ටිනල් වසා ගැටිත්තක් කියන්නේ මොකක්ද?

පියයුරු  පිළිකා සෛල සාමාන්‍යයෙන් මුලින්ම ගමන් කරන්නේ අපේ වසා නාල හරහා කිහිල්ලේ තිබෙන  වසා ගැටිති වලට. මේ වස ගැටිති වලින් පිළිකා සෛල මුලින්ම පැතිරිය හැකි වසා ගටිත්තට තමයි සෙන්ටිනල් වසා ගැටිත්ත  කියල කියන්නේ . ඉතින් පිලිකාසෛල අනෙක් වසා  ගැටිති වලට පැතිරෙන්නේ මේ සෙන්ටිනල් වසා  ගටිත්තට ගියාට පස්සේ . පළමු වසා ගැටිත්තේ පිලිකා සෛල නැති නම් අනෙක්  වසා  ගැටිති වල පිලික සෛල තියෙන්න තියෙන හැකියාව ඉතාම අඩුයි . ඒ නිසා, මේ එක වසා ගැටිත්තක් පරීක්ෂා කිරීමෙන් අපට මුළු කිහිල්ලේම වසා ගැටිති වල තත්ත්වය ගැන හරියටම දැනගන්න පුළුවන්. මේ අනුව තමයි ඔබේ ඉදිරි ප්‍රතිකාර තීරණය කරන්නේ.

කිහිල්ලේ සැත්කම වෙනස් වුණේ ඇයි? (Lymphedema අවදානම අඩු කිරීම)

පියයුරු පිලික වල වසා ගැටිති පරීක්ෂා කිරීම කාලයත් සමඟ ගොඩක් වෙනස් වුණා. අතීතයේදී, පියයුරු පිළිකාවක් තියෙන හැමෝගෙම  වගේ කිහිල්ලේ තියෙන වසා ගැටිති සියල්ලම ඉවත් කළා. මේකට කියන්නේ Axillary Lymph Node Dissection  නැත්තම්  ALND කියල මේ කිහිල්ලේ වසා ගැටිති සියල්ල ඉවත් කිරීමේ  සැත්කමේ තියෙන ලොකුම අවාසිය වුණේ අතේ  ඉදිමීම (Lymphedema) ඇතිවීම. මේක වසා ගැටිති ඉවත් කළ අතේ හෝ අතේ කොටසක වසා තරලය එකතු වීම නිසා ඇතිවන නිදන්ගත ඉදිමීමක්. ALND සැත්කමෙන් පස්සේ රෝගීන්ගෙන් 15% – 25% අතර ප්‍රමාණයකට Lymphedema ඇතිවීමේ අවදානමක් තිබුණා. ලංකාවේ පිළිකා රෝගීන් අතර මේ සංකූලතාව ගොඩක් දුරට දක්නට ලැබුණා. ඒ වගේම, මේ ALND සැත්කම නිසා අතේ හිරිවැටීම් සහ වේදනාව වගේ අතුරු ආබාධත් ඇතිවුණා. මේ නිසා තමයි සෙන්ටිනල් වසා ගැටිති පරීක්ෂාව (SLNB) කියන ක්‍රමය ලෝකය පුරාම ප්‍රචලිත වුණේ. මේකෙන් කරන්නේ අනවශ්‍ය විදියට හැම ගැටිත්තක්ම ඉවත් කරන එක වළක්වන එකයි. SLNB එකෙන් පස්සේ Lymphedema අවදානම 5% වගේ අඩු අගයකට ගෙන එන්න පුළුවන්.

SLNB පරීක්ෂණය කරන්නේ කොහොමද

සෙන්ටිනල් වසා ගැටිති පරික්ෂාව කරන්නේ පියයුරු පිළිකාව සදහා සැත්කම කරන අවස්ථාවෙදීමයි .  මෙක සිදුකරන්නේත් පූර්ණ නිර්වින්දනය යටතේ . සැත්කමට ටික වෙලාවකට කලින් ඔබේ වෛද්‍යවරයා විසින් පියයුරේ පිළිකාව තියෙන තැනට ආසන්නව විශේෂ වර්ණකයක් (Blue dye) හෝ සුළු රේඩියෝ-ක්‍රියාකාරී ද්‍රව්‍යයක් (Radioactive Tracer) එන්නත් කරනවා. සමහර වෙලාවට මේ ක්‍රම දෙකම පාවිච්චි කරනවා. මේ ද්‍රව්‍යය, වසා තරලයත් එක්කම ගමන් කරලා, පිළිකා සෛල මුලින්ම හමුවෙන  වසා ගැටිත්තට (සෙන්ටිනල් නෝඩයට) යනවා. මේ නිසා ඒ ගැටිත්ත නිල් පාට වෙනවා හෝ විශේෂ උපකරණයකට හසු කර ගන්න පහසු වෙනවාසැත්කම කරනකොට, ඔබේ ශල්‍ය වෛද්‍යවරයා විසින්  මේ වර්ණකයෙන් හෝ රේඩියෝ-ක්‍රියාකාරී ද්‍රව්‍යයෙන් සලකුණු වූ වසා ගැටිති එකක් හෝ කිහිපයක් කිහිල්ලේ ඉතා කුඩා කැපුමක් තියලා ඉවත් කරනවා. ඉවත් කළ වසා ගැටිති වහාම පරීක්ෂණාගාරයට යවනවා. එහිදී ක්ෂණික පරීක්ෂාවක් කරලා (සැත්කම කරන අතරතුරදීම) ඒ ගැටිතිවල පිළිකා සෛල තියෙනවද කියලා බලනවා. මේ ප්‍රතිඵලය මත තමයි වෛද්‍යවරයා ඊට පස්සේ කළ යුත්තේ කුමක්ද කියලා තීරණය කරන්නේ.

ප්‍රතිඵල සහ ඔබේ ඉදිරි ප්‍රතිකාර

සෙන්ටිනල් වසා ගැටිති පරීක්ෂාවේ ප්‍රතිඵලය මත තමයි කිහිල්ලට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍යද නැද්ද කියලා තීරණය කරන්නේ. ඉවත් කල වසා ගැටිති වල පිළිකා සෛල නැතිනම්   පිළිකාව කිහිල්ලට පැතිරිලා නැහැ. ඒ නිසා කිහිල්ලේ තියෙන අනිත් වසා ගැටිති ඉවත් කරන්නේ නැහැ. පිළිකා සෛල තියෙනවා නම් (Positive) ඒ කියන්නේ පළමු  වසා ගැටිත්තට පිළිකාව පැතිරිලා. මේ වගේ වෙලාවක ඔබේ වෛද්‍යවරයා වසා  ගටිති සියල්ල ඉවත් කරනවද නැතිද කියල තීරණය කරනවා. පිළිකාව ඉතා සුළුවෙන් පැතිරිලා නම්, සමහර වෙලාවට කිහිල්ලේ ඉතුරු ගැටිති ඉවත් කරන්නේ නැතිව ඒ ප්‍රදේශයට විකිරණ ප්‍රතිකාරවලින් (Radiation Therapy) එය පාලනය කරන්න පුළුවන් කියලා වෛද්‍ය පරීක්ෂණ මගින් සොයාගෙන තියෙනවා . මේ නිසා අනවශ්‍ය සැත්කම් කිරීම තවත් අඩු වෙලා තියෙනවා. සෙන්ටිනල් වසා ගැටිති පරීක්ෂාව කියන්නේ පියයුරු පිළිකා ප්‍රතිකාරයේ ඇතිවශ්‍ය  පියවරක්. මේ  නිසා කාන්තාවන් විඳින ශාරීරික අපහසුතාව සහ දීර්ඝ කාලීන සංකූලතා ගොඩක් අඩු වෙලා තියෙනවා. කිහිල්ලේ සැත්කම ගැන බියක් තියෙනවා නම්, මේ ගැන ඔබේ වෛද්‍යවරයා එක්ක කතා කරන්න. මතක තියාගන්න, ඔබේ ශල්‍ය වෛද්‍යවරයා ඔබට වඩාත්ම සුදුසු සහ නවීන ප්‍රතිකාර ක්‍රමය ලබා දෙන්න සූදානම්. දැනුවත් වීම තුලින් පිළිකාව ජය ගනිමු .

DR buddhika ubayawansa breast surgeon

Dr D H Buddhika Ubayawansa  (MBBS,MD(surgery) MRCS ( Edin) ) Consultant Oncological Surgeon 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *