පියයුරු පිළිකා ගැන කතා කරනකොට, “මැමෝග්‍රෑම්” (Mammogram) කියන වචනය නිතරම අහන්න ලැබෙනවා. සමහර වෙලාවට මේක ගැන අහනකොටම පොඩි බයකුත්, අමුත්තකුත් දැනෙන්න පුළුවන්. ඉතින් මැමෝග්‍රෑම් එකක් කියන්නේ මොකක්ද, ඒක වැදගත් ඇයි, සහ ලංකාවේ මේ පරීක්ෂණය කරන්න තියෙන පහසුකම් මොනවාද කියලා මේ ලිපියෙන් අපි සරලව කතා කරමු.
මැමෝග්‍රෑම් එකක් කියන්නේ මොකක්ද?
මැමෝග්‍රෑම් එකක් කියන්නේ පියයුරු වල ගන්න X-ray ඡායාරූපයක් . මේකෙන් කරන්නේ පියයුර ඇතුළේ තියෙන පුංචි වෙනස්කම්, ගැටිති, හෝ වෙනත් අසාමාන්‍යතා හොයාගන්න එකයි. මේවා සාමාන්‍ය පරීක්ෂණයකදී හෝ ස්පර්ශයෙන් හොයාගන්න බැරි වෙන්න පුළුවන්.මැමෝග්‍රෑම් පරීක්ෂණ වර්ග දෙකක් තියෙනවා:
- ස්ක්‍රීනින් මැමෝග්‍රෑම් (Screening Mammogram): මේක තමයි රෝග ලක්ෂණ නැති අයට, පිළිකාවක් තියෙනවද කියලා බලන්න කරන පරීක්ෂණය. සාමාන්‍යයෙන් අවුරුදු 40ට වැඩි කාන්තාවන්ට නිතිපතා ( අවම වශයෙන් අවුරුදු තුනකට වරක්මේ පරීක්ෂණය කරන්න නිර්දේශ කරනවා. මේකෙදි පියයුරු දෙකේම x ray පින්තූර ගන්නවා.
- ඩයග්නොස්ටික් මැමෝග්‍රෑම් (Diagnostic Mammogram): මේක කරන්නේ යම් රෝග ලක්ෂණයක් (උදා: ගැටිත්තක්, වේදනාවක්) තියෙනවා නම්, ඒක පිළිකාවක්ද කියලා බලන්න. මේකෙදි අවශ්‍ය නම්, අමතර ඡායාරූප හෝ පියයුරේ කොටසක් විතරක් zoom කරලා පින්තූර ගන්නවා.
මැමෝග්‍රෑම් එකක් වැදගත් වෙන්නේ ඇයි?
මැමෝග්‍රෑම් එකක ප්‍රධානම අරමුණ තමයි පියයුරු පිළිකාවක් මුල් අවස්ථාවේදීම සොයාගන්න එක. පිළිකාවක් මුල් අවස්ථාවේදීම සොයාගත්තොත්, ඒක සම්පූර්ණයෙන්ම සුව කරන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. ප්‍රතිකාරත් අඩු වෙහෙසකින් කරන්න පුළුවන් වෙනව .ඔබට කිසිම රෝග ලක්ෂණයක් නැති වුණත්, නිරන්තරයෙන් මැමෝග්‍රෑම් පරීක්ෂා කිරීමෙන්, අතට දැනෙන්නේ නැති පුංචිම පිළිකා පවා හඳුනාගන්න පුළුවන්. ඒ වගේම නිතිපතා මැමෝග්‍රෑම් පරීක්ෂා කිරීමෙන් පියයුරු පිළිකා නිසා සිදුවන මරණ සංඛ්‍යාව අඩු වෙනවා කියලා පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙනවා.
ලංකාවේ මැමෝග්‍රෑම් පහසුකම් සහ වර්තමාන තත්ත්වය
ලංකාවේ පියයුරු පිළිකා රෝගීන් වැඩිවෙමින් පවතින නිසා, රජය සහ පෞද්ගලික අංශය මේ ගැන වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා.
- රජයේ රෝහල්: ලංකාවේ ප්‍රධාන රජයේ රෝහල් (උදා: අපේක්ෂා රෝහල, ජාතික රෝහල) සහ පළාත් රෝහල්වල මැමෝග්‍රෑම් සේවා නොමිලේ ලබාගන්න පුළුවන්.
- පිළිකා මුල් අවධියේ හඳුනාගැනීමේ මධ්‍යස්ථාන: සෞඛ්‍ය අමාත්‍යාංශයට අයිති පිළිකා මුල් අවධියේ හඳුනාගැනීමේ මධ්‍යස්ථාන (Cancer Early Detection Centre – CEDC) තියෙනවා. මේ මධ්‍යස්ථානවලිනුත් නොමිලේ මැමෝග්‍රෑම් පරීක්ෂණ කරන්න පුළුවන්.
- ලංකාවේ ප්‍රධාන පෞද්ගලික රෝහල් සහ රසායනාගාරවල නවීන මැමෝග්‍රෑම් යන්ත්‍ර (සමහර තැන්වල 3D මැමෝග්‍රෑම් හෙවත් ටොමොසින්තෙසිස් (Tomosynthesis) තාක්ෂණයත් තියෙනවා) තියෙනවා.
පර්යේෂණ අනුව පෙනී යන දේ තමයි, ලංකාවේ කාන්තාවන් අතර මැමෝග්‍රෑම් ගැන දැනුවත්භාවය අඩුයි. විශේෂයෙන්ම, බොහෝ දෙනෙක් මේකේ වැදගත්කම ගැන දැනගෙන හිටියත්, පරීක්ෂණය කරන්නේ නැහැ. මේකට ප්‍රධානම හේතු වන්නේ
- පරීක්ෂණය වේදනාකාරී වෙයි කියලා තියෙන බය.
- තමන්ට රෝග ලක්ෂණ නැති නිසා පරීක්ෂණයක් අවශ්‍ය නැහැ කියලා හිතන එක.
- මැමෝග්‍රෑම් වලට අධික විකිරණ තියෙනවා, ඒකෙන් පිළිකා ඇතිවෙන්න පුළුවන් කියන බිය – අද දවසේ මැමෝග්‍රෑම් යන්ත්‍ර වල තියෙන විකිරණ ප්‍රමාණය ඉතාම අඩුයි. ඒකෙන් ලැබෙන වාසිය (පිළිකා මුලින්ම හඳුනාගැනීම) හානියට වඩා ගොඩක් වැඩියි.
- පෞද්ගලික රෝහලක පරීක්ෂණයක් කරගන්න යන වියදම දර ගැනීමට නොහැකි වීම.
ලංකාවේ පියයුරු පිළිකාවෙන් මිය යන කාන්තාවන්ගේ සංඛ්‍යාව සාපේක්ෂව වැඩියි. මේකට ප්‍රධානම හේතුව වන්නේ පිළිකා රෝගීන්ගෙන් භාගයක් පමණ මුල් අවස්ථාවේදී හඳුනා නොගැනීමයි. ඒ නිසා, මැමෝග්‍රෑම් පරීක්ෂණය ගැන තියෙන මිත්‍යා මත ඉවත් කරලා, දැනුවත් වෙලා, මේ පරීක්ෂණය කරන්න එක ගොඩක් වැදගත්.
මැමෝග්‍රෑම් එකක් කරන්නේ කොහොමද?

- සූදානම් වීම:
- පරීක්ෂණයට යනකොට කිසිම දියර වර්ගයක් (deodorant, antiperspirant), පවුඩර්, හෝ ක්‍රීම් වර්ග පියයුරු වලට හෝ කිහිල්ලට ගාන්න එපා. මොකද මේවා X-ray ඡායාරූප වල ගැටිති වගේ පෙනෙන්න පුළුවන්.
- සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන යන්න.
- පරීක්ෂණය කරන වෙලාවේ
- ඔබේ පියයුර විශේෂ X-ray යන්ත්‍රයක් මත තබනවා.
- යන්ත්‍රයේ තියෙන ප්ලාස්ටික් තහඩු දෙකක් අතරට ඔබේ පියයුර තත්පර කිහිපයක් තද කරනවා. මේක තමයි බොහෝ දෙනෙක්ට අපහසුවක් දැනෙන්න පුළුවන් කොටස.
- මේ විදියට පින්තූර දෙකක් හෝ වැඩි ගණනක් ගන්නවා.
- අනෙක් පියයුරටත් මේ විදියටම කරනවා.
- සම්පූර්ණ ක්‍රියාවලියට ගත වෙන්නේ විනාඩි 10-15ක් වගේ පොඩි වෙලාවක් විතරයි.
- පියයුර තද කරනකොට පොඩි වේදනාවක් හෝ අපහසුවක් දැනෙන්න පුළුවන්. ඒත් ඒක තත්පර කිහිපයකට විතරයි.
මැමෝග්‍රෑම් ප්‍රතිඵල සහ ඊළඟ පියවර
- ප්‍රතිඵල සාමාන්‍ය නම්, ඔබේ වෛද්‍යවරයා ඊළඟ මැමෝග්‍රෑම් එක කරන්න ඕන කවදාද කියලා කියාවි.
- සමහර වෙලාවට අසාමාන්‍ය දෙයක් පෙනෙන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ හැමවිටම පිළිකාවක් තියෙනවා කියන එක නෙවෙයි. බොහෝ වෙලාවට මේවා හානිකර නොවන ගැටිති (benign lumps) වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවක ඔබේ වෛද්‍යවරයා තවත් පරීක්ෂණ (උදා: අල්ට්‍රා සවුන්ඩ්, MRI, හෝ බයොප්සි – Biopsy) කරන්න නිර්දේශ කරයි.
මැමෝග්‍රෑම් එකක් කියන්නේ පියයුරු පිළිකාවෙන් ඔබව ආරක්ෂා කරගන්න තියෙන බලගතුම මෙවලමක්. ඒක බය වෙන්න ඕන දෙයක් නෙවෙයි, ඔබට අවුරුදු 40ට වැඩි නම්, හෝ ඔබේ පවුලේ පිළිකා ඉතිහාසයක් තියෙනවා නම්, ඔබේ වෛද්‍යවරයා එක්ක කතා කරලා ඔබට මැමෝග්‍රෑම් එකක් අවශ්‍යද කියලා දැනගන්න.
Dr D H Buddhika Ubayawansa (MBBS,MD(surgery) MRCS ( Edin) ) Consultant Oncological Surgeon


