googlec1e6ac418fe01dee.html

පියයුරු පිළිකාව සඳහා හෝර්මෝන ප්‍රතිකාර

hormonal treatment in breast cancer

           පියයුරු පිළිකාවක් කියලා දැනගත්තාම, ඒකට තියෙන ප්‍රතිකාර ගොඩක් ගැන අහන්න ලැබෙනවා. සැත්කම්, රසායනික ප්‍රතිකාර, විකිරණ ප්‍රතිකාර වගේම හෝර්මෝන ප්‍රතිකාර කියන එකත් මේ අතර තියෙනවා. මේ “හෝර්මෝන ප්‍රතිකාර” කියන වචනය ඇහෙනකොට සමහර අයට ටිකක් අපැහැදිලි වෙන්න පුළුවන්. මේ ලිපියෙන් අපි මේක පැහැදිලි කරගන්න උත්සහ කරමු 

මොකක්ද මේ හෝර්මෝන ප්‍රතිකාර?

         අපි දන්නවා අපේ ශරීරයේ “හෝර්මෝන” කියන රසායනික ද්‍රව්‍ය ගොඩක් තියෙනවා. Estrogen සහ Progesterone කියන කාන්තා හෝර්මෝන දෙක මේ අතර ප්‍රධානයි. සමහර පියයුරු පිළිකා වර්ග මේ හෝර්මෝන නිසා වර්ධනය වෙනවා. හරියට පැළයක් වතුර දානකොට හැදෙනවා වගේ. හෝර්මෝන ප්‍රතිකාර කියන්නේ මේ හෝර්මෝන වල බලපෑම අවහිර කරලා, පිළිකා සෛල වර්ධනය වීම නවත්වන බෙහෙත් වර්ගයක්.  හෝර්මෝන  ප්‍රතිකාරය හැම රෝගියෙකුටම ගැලපෙන්නේ නෑ ! ඒ නිසා මේක ලබා  දෙන්නේ හෝර්මෝන ප්‍රතිග්‍රාහක සංවේදී (Hormone Receptor Positive – HR+) පියයුරු පිළිකා තියෙන අයට විතරයි. ඒ කියන්නේ, ඔබේ පිළිකා සෛල වල Estrogen හෝ Progesterone හෝර්මෝන “හඳුනාගන්න පුළුවන්” ප්‍රතිග්‍රාහක (receptors) තියෙනවා නම් තමයි මේ ප්‍රතිකාරය සාර්ථක වෙන්නේ. ඔබේ වෛද්‍යවරයා පරීක්ෂණ කරලා මේ ගැන හරියටම දැනුම් දෙනවා.

හෝර්මෝන ප්‍රතිකාරය කරන්නේ මොන වගේ අවස්ථා වල ද ?

මේ ප්‍රතිකාරය පිළිකාවට කරන ප්‍රධාන සැත්කමෙන් පසුව දිගු කාලයක් (අවුරුදු 5-10ක් වගේ) ලබා දෙනවා.

  • සැත්කමෙන් පස්සේ නැවත පිළිකාව ඇතිවීම වළක්වන්න.(Adjuvant Therapy)
  •  සමහර වෙලාවට සැත්කමට කලින් පිළිකාව හැකිලීමට.(Neoadjuvant Therapy)
  •  පිළිකාව ශරීරයේ වෙනත් තැන්වලට පැතිරිලා (metastatic breast cancer) තියෙනවා නම්, එය පාලනය කරන්න.

හෝර්මෝන ප්‍රතිකාර වර්ග සහ ඒවා ක්‍රියා කරන හැටි

      ප්‍රධාන වශයෙන් හෝර්මෝන ප්‍රතිකාර වර්ග කිහිපයක් තියෙනවා. මේවා ඔබේ වයස (ඔසප් වීම නතර වෙලාද නැද්ද), ඔබේ පිළිකාවේ වර්ගය, සහ අතුරු ආබාධ අනුව වෛද්‍යවරයා තීරණය කරනවා.

1. ටැමොක්සිෆෙන් (Tamoxifen)

      Tamoxifen කියන්නේ ඉතාම ජනප්‍රිය හෝර්මෝන ප්‍රතිකාර බෙහෙතක්. මේකෙන් කරන්නේ Estrogen හෝර්මෝනය පියයුරු පිළිකා සෛල වලට සම්බන්ධ වීම වළක්වන එකයි. හරියට යතුර අගුලට නොගැලපෙනවා වගේ.  ඔසප් වීම සිදුවන (pre-menopausal) කාන්තාවන්ට වගේම, ඔසප් වීම නතර වූ (post-menopausal) කාන්තාවන්ටත් මේක ලබා දෙනවා. දවසට එක පෙත්තක් විදියට අවුරුදු 5-10ක් වගේ දිගු කාලයක් ගන්න ඕන.

2. ඇරෝමටේස් ඉන්හිබිටර්ස් (Aromatase Inhibitors )

      Letrozole, Anastrozole, Exemestane වගේ ඖෂධ මේ යටතට එනවා. මේවායින් කරන්නේ ශරීරයේ ඩිම්බ කෝෂ වලින් පිටත Estrogen නිෂ්පාදනය අඩු කරන එකයි. මේවා ලබා දෙන්නේ  ඔසප් වීම නතර වූ (post-menopausal) කාන්තාවන්ට පමණයි . මොකද, ඔසප් වීම සිදුවන කාන්තාවන්ගේ Estrogen හෝර්මෝනය ප්‍රධාන වශයෙන් නිපදවෙන්නේ ඩිම්බ කෝෂ වලින් , ඒ නිසා ඔවුන්ට මෙයින් ලැබෙන ප්‍රයෝජනය අඩුයි .මෙය දවසට එක පෙත්තක් විදියට අවුරුදු 5-10ක් වගේ දිගු කාලයක් ගන්න ඕන.

3. ඩිම්බ කෝෂ ක්‍රියාකාරිත්වය යටපත් කිරීම / ඩිම්බ කෝෂ ඉවත් කිරීම (Ovarian Suppression / Ablation)

    මේකෙන් කරන්නේ ඩිම්බ කෝෂ වල Estrogen නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවත්වන එකයි. මේක කරන ප්‍රධාන ක්‍රම දෙකක්  තියෙනවා  

  1. ධ මගින් ඩිම්බ කෝෂ වල ක්‍රියාකාරිත්වය තාවකාලිකව නතර කිරීම Gonadotropin-Releasing Hormone (GnRH) Agonists (උදා: Goserelin, Leuprolide): මේවා මාසිකව හෝ තුන් මාසිකව එන්නත් විදියට දෙනවා.
  2. ශල්‍යකර්මයකින් ඩිම්බ කෝෂ ඉවත් කිරීම (Oophorectomy): මේකෙන් ඩිම්බ කෝෂ ස්ථිරවම ඉවත් කරනවා.
    මේක ප්‍රධාන වශයෙන් ඔසප් වීම සිදුවන (pre-menopausal) කාන්තාවන්ට තමයි නිර්දේශ කරන්නේ.

හෝර්මෝන ප්‍රතිකාර වල අතුරු ආබාධ

ඕනෑම බෙහෙතක් වගේම, හෝර්මෝන ප්‍රතිකාර වලටත් අතුරු ආබාධ තියෙනවා. මේවා හැමෝටම ඇතිවෙන්නේ නැහැ. ඒ වගේම, ඇති වුණත්, ඒවා පලනය කරගන්න ක්‍රම තියෙනවා. මේවා ගැන කලින් දැනගෙන ඉන්න එක ඔබට පහසුවක් වෙයි.

ටැමොක්සිෆෙන් (Tamoxifen) වල අතුරු ආබාධ:

  • සිරුරට වැඩිපුර රස්නය දැනීම සහ දහදිය දැමීම hotflushes ( මෙය අර්තවහරණයේදී සිදුවන දෙයක් .)
  • යෝනි මාර්ගය වියළීම: මේ නිසා ලිංගික සම්බන්ධතා වලදී අපහසුතාවක් ඇති විය හැකියි.
  • යෝනි මාර්ගයෙන් ශ්‍රාවයන් පිටවීම
  • ගර්භාෂ පිළිකා අවදානම වැඩිවීම (Endometrial cancer): මෙය ඉතා කලාතුරකින් සිදුවන දෙයක් වුවත්, මේ ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කිරීම වැදගත්.
  • රුධිර කැටිති ඇතිවීම (Blood clots): කකුල් වල හෝ පෙනහළුවල රුධිර කැටිති ඇතිවීමේ සුළු අවදානමක් තියෙනවා. මේ නිසා හදිසියේ කකුලක් ඉදිමුණොත් හෝ හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වුණොත් වහාම වෛද්‍යවරයාට දැනුම් දෙන්න.

ඇරෝමටේස් ඉන්හිබිටර්ස් (Aromatase Inhibitors ) වල අතුරු ආබාධ

  • මස්පිඩු සහ සන්ධි වේදනාව: මේක ගොඩක් දෙනෙක්ට දැනෙනඅතුරු ආබාධයක්.
  • අස්ථි දුර්වල වීම (Osteoporosis): අස්ථි වල ඝනත්වය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ වෛද්‍යවරයා අස්ථි ඝනත්ව පරීක්ෂණ (bone density scans) කරන්නත්, කැල්සියම් සහ විටමින් ඩී අතිරේක ලබා දෙන්නත් ඉඩ තියෙනවා.
  • හිස කෙස් තුනී වීම:
  • වෙහෙස දැනීම
  • කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීම:

ඩිම්බ කෝෂ ක්‍රියාකාරිත්වය යටපත් කිරීමේ ක්‍රම (Ovarian Suppression) වල අතුරු ආබාධ

මේවා ඔසප් වීම නතර වන විට (menopause) දැනෙන අතුරු ආබාධ වගේමයි

  • අධික දහදිය සහ රස්නය
  • යෝනි මාර්ගය වියළීම
  • වෙහෙස දැනීම
  • මුහුණේ සමේ වෙනස්කම්
  • අස්ථි දුර්වල වීම

අතුරු ආබාධ වලට මුහුණ දෙන්නේ කොහොමද?

මේ අතුරු ආබාධ ඇති වුණාම බය වෙන්න එපා. ඒවා පාලනයකරගන්න ක්‍රම තියෙනවා.

  • ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න: ඔබට දැනෙන ඕනෑම අතුරු ආබාධයක් ගැන වෛද්‍යවරයාට දැනුම් දෙන්න. සමහරවිට බෙහෙත වෙනස් කරන්න, මාත්‍රාව වෙනස් කරන්න, හෝ ඒ සඳහා වෙනත් බෙහෙත් නියම කරන්න පුළුවන්.
  • ජීවන රටාව වෙනස් කිරීම:
    • ව්‍යායාම: නිතිපතා ව්‍යායාම කිරීමෙන් සන්ධි වේදනාව, තෙහෙට්ටුව වගේ දේවල් අඩු කරගන්න පුළුවන්.
    • ආහාර: සමබර ආහාර වේලක් ගන්න. කැල්සියම් බහුල ආහාර (කිරි, යෝගට්, චීස් වගේ) සහ විටමින් ඩී ගන්න.
    • විවේකය: හොඳට විවේක ගන්න.
    • ඇඳුම්: සැහැල්ලු ඇඳුම් අඳින්න.

හෝර්මෝන ප්‍රතිකාර කියන්නේ පියයුරු පිළිකාව පාලනය කරන්න තියෙන ඉතා වැදගත් සහ ඵලදායී ක්‍රමයක්. මේ ප්‍රතිකාරය ගොඩක් වෙලාවට දිගු කාලයක් ගන්න සිදුවෙන නිසා, ඔබට මේ ගැන හොඳ අවබෝධයක් තියෙන එක ගොඩක් වටිනවා. ඔබේ වෛද්‍යවරයා, හෙදියන්, පවුලේ අය සහ මිතුරන් ඔබට සහයෝගය දෙන්න ඉන්නවා. අතුරු ආබාධ ඇති වුණත්, ඒවා ගැන වෛද්‍යවරයාට කතා කරලා නිසි උපදෙස්ලබාගන්න පුළුවන්. දැනුවත් වීමෙන් සහ ධනාත්මක ආකල්පයකින්, ඔබට මේ අභියෝගය ජයගෙන නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්.

DR buddhika ubayawansa breast surgeon

Dr D H Buddhika Ubayawansa  (MBBS,MD(surgery) MRCS ( Edin) ) Consultant Oncological Surgeon 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *